Error message

Notice: Undefined offset: 1 in counter_get_browser() (line 70 of /home/sannas3/public_html/sites/all/modules/counter/counter.lib.inc).

ශිෂ්‍යත්ව විභාගය

ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ පමණින් ඔබේ දරුවා අදක්ෂයෙක් නොවේ

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. අවුරුද්දකට, දෙකකට වැඩි කාලයක් දරුවා මෙන්ම දෙමවුපියන්ද වෙහෙසී ගත් උත්සාහයේ ප්‍රතිඵල ලැබී ඇත. එවන් වූ වෙහෙසක් දරා ගන්නා උත්සාහයේ මනා ප්‍රතිඵල ලැබීම, එනම් ශිෂ්‍යත්වයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබීම සැබවින්ම දෙමවුපියන්ගේ බලාපොරොත්තු ඉටුවීමකි. එපමණක් නොව, එය දරුවාගේ ඉදිරි අධ්‍යාපනයේ සාර්ථකත්වයට දමන අඩිතාලමක්ද වන්නේය.

කෙසේ නමුත් ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සියලුම දරුවන්ට ජයග්‍රහණයේ සතුට එලෙසින්ම විඳගැනීමට හැකි නොවන බව සත්‍යයකි. සැබවින්ම තම දරුවා ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම දෙමවුපියන්ට නොසතුටකි. නමුත් ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ පමණින් ඔබේ දරුවා අදක්ෂයෙකු වන්නේද? මේ ශිෂ්‍යත්වය අසමත් වූ දරුවන්ගේ දෙමවුපියන් වෙනුවෙන් සටහනකි. 

ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ විට ඇතැම් දෙමවුපියන් අසමත් වූ තම දරුවාට නොසෑහෙන තරම් බැණ වදිනු දැකිය හැකිය. හිතවතෙකුගේ දරුවෙකු විභාගයෙන් සමත් වී නම් මෙම තත්ත්වය තවත් දරුණු විය හැකිය. පසුගිය සමයේ ඇතැම් පුවත් වාර්තාවලින් ඒ බව සනාථ විය. නමුත් ශිෂ්‍යත්වය අසමත් වූ සැණින් ඔබේ දරුවා අදක්ෂයෙකු වේද? මේ දෙමවුපියන් වෙනුවෙන් සිතන්නට කරුණකි.

ශිෂ්‍යත්වය යනු පාසල් දිවියේ හමුවන පළමු කඩඉම පමණි. එය පැනගන්නට ඔබේ දරුවාට නොහැකි වූයේ යැයි දරුවාගේ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නොගත යුතුය. විශේෂයෙන්ම දරුවාට තමාට නොහැකි යැයි අදහස නැගෙන ප්‍රකාශ ඇණුම් බැණුම් නොකළ යුතුය. මන්ද අධ්‍යාපන දිවිය ජයගන්නට තවත් බොහෝ කඩඉම් තිබෙන බැවිනි. ලද මට්ටම සත්‍ය ලෙසම අඩු බවට දරුවාට ආදරයෙන් වටහා දෙන්න. ඒත් සමගම මෙය අනෙක් කඩඉමට ශක්තියක් කරගත යුතු බව පෙන්වා දෙන්න. ඔබේ ආදරය, සහයෝගය විභාගය අසමත් වූවායැයි කියා අඩු නොවන බව දරුවාට පවසන්න. දරුවාගේ මිතුරෙකු විභාගය සමත්ව යම් තෑගිබෝග ලද සතුටු වෙමින් සිටිනු දක්නට ලැබෙන්නේ නම් ඔහුටද තෑග්ගකින් සංග්‍රහ කරන්න. අනාගත ඉලක්ක පෙන්වා දෙන්න.

ශිෂ්‍යත්වයට මුහුණදෙන්නේ අවුරුදු 10 ක් තරම් වූ කුඩා දරුවෙකු බව ඔබ මතක තබාගන්න. විභාගය අසමත් වූ පමණින් ඔබ දරුවාව බැහැර කරන්නේ නම් එය ළමයාගේ අනාගත පෞරුෂයට කරන අවැඩකි. ඔබ ශිෂ්‍යත්ව අසමත් එහෙත් වැදගත් තනතුරු හොබවන, වත්පොහොසත් අය පිළිබඳ නිදසුන් දරුවාට පෙන්වා දෙන්න. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය අසමත් එහෙත් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගය සමත් දන්නා හඳුනන සිසුන් ගැන පවසන්න. දරුවාට තමන් එම විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබාගන්නේ යැයි හැඟීම් ඇති කරන්න. හැකි නම් එවැන්නෙකු ලවා උපදෙස් ලබාදෙන්න.

දරුවගේ වැඩි දක්ෂතාවක් අධ්‍යාපනයෙන් පරිබාහිර ක්‍රීඩා, සෞන්දර්යය, තාක්ෂණ ආදී වූ වෙනත් අංශයක හෝ අංශවල පැවතිය හැකිය. දරුවාට සමීප වී ඔබ දරුවාගේ එම දක්ෂතා හඳුනාගන්න.  අධ්‍යාපන කටයුත්තට මුල්තැන දෙමින්ම එවන් වූ දක්ෂතාවන් පරිපූර්ණ කරගැනීමට ඔවුන්ට සහයෝගය ලබාදෙන්න. ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව දරුවා ලබන සෑම ජයග්‍රහණයකදීම දරුවාව අගයන්න. ශිෂ්‍යත්වය සමත් නොවූ බැවින් එම ජයග්‍රහණවලින් පලක් නොවන බව කිසිවිටෙකත් නොසිතන්න. මන්ද යත් පරාජයේදී දොස් නගනවාට වඩා ජයග්‍රහණයේදී ප්‍රශංසා කිරීම ඕනෑම කෙනෙකුට හොඳ උත්ප්‍රේරණයක් වන බැවිනි. එය ඔබේ දරුවාටද අදාළය.

අද අසමත් වූ විභාගය එක් අවස්ථාවත් බවත් තවත් අවස්ථා බොහෝ පවතින බවත් ඔබේ දරුවාට අවබෝධ කර දෙන්න. ඒ සෑම අවස්ථාවකදීම ඔබ නොවෙනස්ව දරුවා ළඟින් සිටින බව වටහා දෙන්න. ඔබ එලෙස දරුවාට ශක්තියක් වන්නේ නම් යම් දිනෙක ඔහු හෝ ඇය ඉහළ ජයග්‍රහණයන් ලබනු ඇත. දරුවන්ට දෙමවුපියන් තරම් වෙනත් පිළිසරණක් ලොව නොමැත. නමුත් එක් සුළු අසමත් වීමකදී ඔබත් ඔබේ දරුවා පිළිබඳ බලාපොරොත්තු අත්හැර නොගන්න. සිතන්න මේ වෙන කවුරුවත් නොව ඔබේම දරුවාය.

 

එම්.එන්. සුභාෂිණී

විද්‍යාලෝක කුරුණෑගල 2013