A/L ඉතිහාසය-2

අපේ රටට මුලින් ආව ඉන්දු ආර්යයන්

ඔන්න ඉතිං පොරොන්දු වුණ විදිහටම මම ඔයාලට වැදගත් මාතෘකාවක් අරන් ආවා. අපි  බලමු අපේ රටට මුලින්ම ආපු ආර්යය කණ්ඩායම් ගැන අපි දන්න තොරතුරු මොනාද කියලා. වංශකථාවේ සඳහන් වෙලා තියෙන තොරතුරු  විමර්ශනය කරද්දින් (මහාවංශය 6වැනි පරිච්ඡේදය 7,8 වැනි ‌පරිච්ඡේද)  අපේ රටට සංක්‍රමණය වුණ ප්‍රධාන ඉන්දු  ආර්යය ජන කණ්ඩායම් කිහිපයක්ම හඳුනාගන්න පු‌ළුවන්. ඒ අතර ප්‍රථම  ආර්යය ජන කණ්ඩායම ලෙසට සඳහන් වෙන්නේ විජය කුමාරයා ඇතු‌ළු පිරිසගේ කණ්ඩායමයි. විජය කුමාරයා ඉන්දියාවේ රාජ පෙළපතකින් පැවත එන බවත් ඔහු ඇතු‌ළු ඔහුගේ සහචරයන් පිරිසක් ලාට රට සිංහපුර  රාජධානිය තුළ නොහික්මුණු විලාශයෙන් හැසිරුණ බවත් කෝපයට පත් ජනයා විජයගේ පියා වුණු සිංහපුර පාලක සිංහබාහු රජුගෙන් කළ ඉල්ලීමකට අනුව මොවුන් රටින් පිටුවහල් කර තිබූ බවත් බුද්ධ පරිනිර්වානය සිදු වූ දින මෙම පිරිස ලංකාවට පැමිණි බවත් සඳහන් වෙනවා. ලංකාවට පැමිණි  ප්‍රථම ආර්යය ජන කණ්ඩායම විජය කුමාරයා ඇතු‌ළු ආර්යය පිරිස වන බව මහාවංශයේ සඳහන් තොරතුරු ඒ ආකාරයෙන්ම පිළිනොගන්නා මහාචාර්චාර්යය පරනවිතාරණ මහතා පෙන්වා දෙන්නේ වංශකථාවේ සඳහන් වී ඇති ආකාරයට සංවිධානාත්මක ආකාරයේ ක්‍රියාවලියකින් මේ රට ජනාවාස වූවා යැයි පිළිගත නොහැකි බවයි. අහම්බෙන් විවිධ අවශ්‍යතා සඳහා මෙරටට පැමිණි ජන කණ්ඩායම් මඟින් ජනාවාසකරණය සිදු වන්නට ඇති බව  එතුමාන්ගේ අදහසයි.  ඒ වගේම තමයි ආර්. ඩී. බණ්ඩාර්කාර් වැනි  විද්වතුන්ගේ අදහස වන්නේ  මෙරටට සංක්‍රමණය වී ඇති මුල්ම  ආර්යය ජනයා දකුණු ඉන්දීය ප්‍රදේශ වලින් පැමිණ තිබෙන බවයි. පාහින් නම්  වූ හිමි නම සිය දේශාන්ඨන වාර්තාවේ  සඳහන් කර ඇත්තේ ලංකාව විවිධ ප්‍රදේශ වලින් පැමිණි ජනයාගෙන් ජනාවාස වූ බවයි.  ඒ අනුව  අපට පැහැදිලි වෙන කරුණක් තමයි ලංකාවට පැමිණි ආර්යය  ජන කණඩායම් සම්බන්ධයෙන් විවිධ අදහස් පවතින බව.

 

මහාවංශ කෘතියේ සඳහන් තොරතුරු වලින් පැහැදිලි වන ආකාරයට මෙරටට සංක්‍රමණය වී ඇති දෙවන ආර්යය ජන කණ්ඩායම වන්නේ මදුරාපුර කුමාරිකාවන් ‌ඇතුළු කුළ 18කට අයත් ශිල්පී පවුල් දහසකගේ පැමිණීමයි. එය  මෙරටට පැමිණි අති විශාලතම සංක්‍රමන කණ්ඩායම ලෙසද වාර්තා වී ඇත. එම පිරිස මෙරටට ගොඩබට ස්ථානය මහාතිත්ථ යනුවෙන් ප්‍රසිද්ධව ඇත.

වංශකථාවේ සඳහන්  වන  පරිදි  මෙරටට සංක්‍රමණය වූ තෙවන ආර්යය කණ්ඩායම තමයි, විජයගෙන් පසුව මෙරට රජකම පවරා දීම සඳහා මෙරටට ගෙන්වා ගත් පණ්ඩුවාසදේව කුමාරයා ඇතු‌ළු පිරිස.  ඔවුන් පැමිණ ටික කලකට පසුව නැගෙනහිර ඉන්දීය ප්‍රදේශවලින් භද්දකච්චායනා කුමරියගේ නායකත්වයෙන් තවත් ජන කණ්ඩායමක් පැමිණ තිබෙන අතර එය සිව්වෙනි ආර්යය සංක්‍රමණය නම් වේ. ඉන් පසුව භද්දකච්චායනා කුමරියගේ සහෝදරයන් ලෙසට සඳහන් දීඝ, රාම, ගෝන, රෝහන ‌ඇතුළු  පිරිස අපේ රටට සංක්‍රමණය වී තිබේ.  සංඝමිත්තා තෙරණිය  සමඟ පැමිණි කුළ 18 කට අයත් ශිල්පීය පවුල් ද, මෙරටට පැමිණ පදිංචි වූ බැවින් ඔවුන් එලෙස ලක්දිවට සංක්‍රමණය වූ තවත් ආර්යය කණ්ඩායමක් ලෙස සඳහන් කල හැකි වේ.  එසේනම් වංශකථාවේ සඳහන් වී ඇති ආකාරයට මෙරට  ආර්යය ජනාවාසයක් බවට  පත් වීමේදී ඒ සම්බන්ධයෙන්  වැදගත් වූ ඉන්දු ආර්යය ජන සංක්‍රමණ කිහිපයක් වැදගත් වෙලා තියන බව ඔයාලට පේනවා ඇති.

 

එසේ ලක්දිවට පැමිණි ආර්යයන් ගේ ගමන් මාර්ග හා ප්‍රධාන ඉන්දීය ප්‍රදේශ

                     ලක්දිවට පැමිණි ඉන්දු ආර්යය ජන කණ්ඩායම්  ඉන්දියාවේ කවර ප්‍රදේශ වලින් කවර මාර්ග ඔස්සේ පැමිණියේද කියා  වීමසීමේදී ඒ සම්බන්ධව අපට විවිධ අදහස් ඉදිරිපත් වෙනවා.  එසේ ලංකාවට පැමිණි ඉන්දු ආර්යය ජන කණ්ඩායම් පැමිණි ප්‍රධානතම ඉන්දීය ප්‍රදේශයක් විදිහට අපට ආර්යයාවර්තය හඳුන්වාදිය හැකි වේ. ආර්යයාවර්තය යනුවෙන් හඳුන්වනු ලබන්නේ උතුරින් හිමාල පර්වත  පංතියෙන්ද , දකුණින් වින්ද්‍යා පර්වත පංතියෙන් ද සීමා වූ සින්දු ගංඟා මහා තැනිතලාවයි.  ආර්යයාවර්තයේ බටහිර සීමාව හෙවත් උතුරු හා වයඹ දිග ඉන්දීය ප්‍රදේශයෙන් අපේ රටට සංක්‍රමණය වූ මුල්ම ආර්යය ජන කණ්ඩායම් වල මූල භූමිය විය හැකි බවත් විජය කුමාරයා ඇතු‌ළු  ‌පිරිසද එම ප්‍රදේශවල සිට පැමිෙණන්නට ඇති බවත් බොහෝ ඉතිහාසඥයින්ගේ අදහසයි. මහාචාර්යය පරණවිතාරන, ආචාර්යය බැෂාම් වැනි වියතුන් විසින් ද පෙන්වා දෙනු ලබන්නේ මෙරටට සංක්‍රමණය වූ මුල්ම ආර්යය ජන කණ්ඩායම් එම ප්‍රදේශයෙන් පැමිෙණන්නට ඇති බවයි. එලෙස පැමිණ පදිංචි වූ ජනයා සිංහලයන් ලෙස හැඳින්වූ  බවත් එලෙස පැමිණි සම්බන්ධතාවය ඉන් හෙළිදරව් කෙරෙන බවත් ඉන්දියාවේ වර්තමාන ගුජටාර ප්‍රාන්තය එලෙස සිංහවංශයට මහත් සම්බන්ධතාවයක් ඇති බැවින් විජය කුමාරයා ඇතු‌ළු  පිරිස ද එම ප්‍රදේශ වලින් පැමිෙණන්නට ඇති බවත් මහාවංශයේ සඳහන් වී ඇති ආකාරයට විජය ඇතු‌ළු පිරිස සිංහපුර රාජධානියෙන් පලවා හැරීමෙන් පසුව ඔවුන් සුප්පාරක වරායෙන් ගොඩබැස නැවත නැව් නැඟ තිබෙන බව හෙළි වන බැවින් එමගින් එම අදහස තහවුරු වන බව පෙන්වා දී ඇත. සුප්පා දේයගේ රාජධානිය වූ වංග දේශය වර්තමාන සින්දු මිටියාවතේ පිහිටන්නට ඇති බවත් සිංහබාහු හා සිංහසීවලි පැමිණි ලාට දේශය මෙම ගුජරාට ප්‍රාන්තය විය හැකි බවත් ඔවුන්ගේ රාජධානිය වූ සිංහපුරය එහි එක් ප්‍රදේශයක් විය හැකි බවත්  පෙන්වා දෙනු ලැබේ.

 

          එහෙත් මෙම අදහස පිළිනොගන්නා ඇතැම් වියොතුන් විසින් පෙන්වා දෙනු ලබන්නේ විජය කුමාරයා ඇතු‌ළු පිරිද ආර්යයාවර්තයේ නැගෙනහිර සීමාවෙන් සංක්‍රමණයවූ ජන කණ්ඩායමක් විය හැකි බවයි.  අතීතයේදී බෙංගාලය, වංගය යනුවෙන් හඳුන්වා ඇති බවත් එම වංග දේශය සුප්පා දේවියගේ රාජධානිය වූයේ නම් ලාට දේශය හා සිංහපුර රාජධානිය ඒ ආශ්‍රිතව පිහිටන්නට ඇති බවත් ඔවුන්ගේ අදහසයි. එහෙත් විජය ඇතු‌ළු පිරිස පැමිණි වරායන් අතර සුප්පාරක වරාය  පිළිබඳව සඳහන් වී තිබීමෙන් ඔවුන් නැගෙනහිර ඉන්දියානු ප්‍රදේශයකින් පැමිණියේද යන්න ප්‍රබලව ගැටලුවක් බවට පත් වී ඇත.  කෙසේ නමුත් මහාචාර්යය පරණවිතාරන මහතා ලංකාවට සංක්‍රමණය වූ මුල්ම ආර්යය ජන කණ්ඩායම් ආර්යයාවර්තයේ බටහිර  දෙසින් පැමිෙණන්නට ඇතිය යන අදහස තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යත්මක සාක්ෂිද  ඉදිරිපත් කර තිබෙනු දැකිය හැකි වේ.

 

          ඉන්දියාවට සංක්‍රමණය වූ විවිධ ආර්යය ගෝත්‍රයන් අතර භරත,ක්‍රිවි,මත්ස්‍ය,ත්‍රිත්සු,විෂාණ ආදී ගෝත්‍ර රැසක් වූ බව ඍග් වේදයෙන් හෙළි වී තිබේ. එලෙස පැමිණි භරත ගෝත්‍රිකයන් වයඹ දිග ඉන්දියානු ප්‍රදේශවල සිය ජනාවාස පිහිටුවාගෙන සිටි බව එම ප්‍රදේශවලින් ලැබී තියන ඉපැරණි ශිලා ලිපි වලින් තහවුරු වි  ඇත. ලංකාවේද භරත ගෝත්‍රයට අයත් ආර්යය ජනයා පදිංචි වී ඇති බව ලංකාවේද මුල්ම කාලයේ ලියවී ඇති ලෙන් ලිපි වල සඳහන් නම් අතර ......භරත මහතිස..... ආදී ලෙස නම් සඳහන් වෙලා තියන නිසා අපට ඒ බව විශ්වාස කරන්න පු‌ළුවන්. ඒ  බව මහාචාර්යය පරණවිතාරණ මහතාද පෙන්වා දී  ඇත. මින් පැහැදිලි වන්නේ ආර්යයාවර්තයේ බටහිර දෙසින් සංක්‍රමණය වී ඇති ජන කණ්ඩායම් මෙරට පදිංචි වී ඇති බවයි.   විජය කුමාරයා ඇතු‌ළු පිරිස, පණ්ඩුවාසදේව කුමාරයා ඇතු‌ළු පිරිස මෙලෙස එම ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ආර්යය  ජන කණ්ඩායම් ලෙසට සඳහන් කරන්න ‌පුළුවන්. මෙම ආර්යය ජන කණ්ඩායම් ලංකාවට පැමිණීමේදී එලෙසින් ලංකාවත් ඉන්දියාවත් සම්බන්ධ කළ ඉපැරණි සාගර මාර්ගයක් උපයෝගී කොට ගෙන ඇති බව අප පෙන්වා දිය යුතුයි.ඉතිහාසඥයන් විසින් පෙන්වා දෙන පරිදි එම මාර්ගයන් වන්නේ මෙන්න මේවායි.

බටහිර  ඉන්දියාවේ භාරුකච්ච, සුප්පාරක හා කල්‍යාණී යන වරායන්ද ලංකාවේ බටහිර හා වයඹදිග වෙරළතීරයේ පිහිටි මහාතිත්ථ, තම්මැන්නා හා කල්‍යණී යන වරායන් සම්බන්ධ කළ සාගර මාර්ගයයි.

මෙරටට සංක්‍රමණයවූ  ආර්යය ජන කණ්ඩායම් අතර ආර්යයාවර්තයේ  නැගෙනහිර දෙසින් හෙවත් නැගෙනහිර ඉන්දීය ප්‍රදේශවලින් සංක්‍රමණය වූ පිරිස් රැසක්ද වූ බව සඳහන් වෙනවා. එසේ නම් මෙරටට ඉන්දු ආර්යය ජනයා සංක්‍රමණය වූ තවත් වැදගත් ඉන්දීය ප්‍රදේශයක් ලෙසට ආර්යයාවර්තයේ නැගෙනහිර ඉන්දීය ප්‍රදේශය අපට හඳුන්වා දෙන්න පු‌ළුවනි. මෙම ප්‍රදේශයෙන් සංක්‍රමණය වි  ඇති ආර්යය ජනයා පිළිබඳ විස්තර මහාවංශයේ සඳහන් වී ඇත. (8වැනි පර්ච්ෙඡ්දයේ 13-20 ගාථා) ඒ අනුව භද්දකච්චායනා කුමරිය ඇතුළු  පිරිස දීඝ,රාම,ගෝණ,රෝහන ආදී ජන කණ්ඩායම් මෙලෙස නැගෙනහිර ඉන්දීය ප්‍රදේශවලින් සංක්‍රමණය වී ඇති බව අපට පැහැදිලි වෙයි. මොවුන් මෙරට සංක්‍රමණය වීමේදී එම ප්‍රදේශ ඔස්සේ ලංකාවත් ඉන්දියාවත් අතර ඉතා අෑත අතීතයක පටන් සම්බන්ධතා පැවති මාර්ගයක් භාවිතා කර ඇත. ඒ සාගර මර්ගය තමයි, නැගෙනහිර ඉන්දියාවේ තාමරලිප්ති වරායත්,ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පිහිටි ජම්බුකෝලපට්ටන හා ගේකණ්ණතිත්ථ සම්බන්ධ කළ මාර්ගය.

 

          ලංකාවට සංක්‍රමණය වු ඉන්දු ආර්යය ජන කණ්ඩායම් එලෙස පැමිණි තවත් වැදගත් ප්‍රදේශයක් ලෙසට දකුණු ඉන්දීය ප්‍රදේශය හඳුනාගෙන ඇත. ආර්.ඩී බණ්ඩාර්කාර් වැනි වියොතුන් විසින් පෙන්වා දෙන ආකාරයට ලංකාවට සංක්‍රමණය වී ඇති මුල්ම ආර්යය ජන කණ්ඩායම් දකුණු ඉන්දීය ප්‍රදේශවලින් පැමිෙණන්නට ඇති බව කියවේ. එම අදහස ඒ අන්දමට ඉදිරිපත් වන්නට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ලංකාවට ඉතාම ආසන්නතම ප්‍රදේශය දකුණු ඉන්දියාව නිසා විය හැකිය. සැතපුම් 32 ක පමණ කෙටි දුර ප්‍රමාණයක් දෙරට අතර පැවති නිසා විවිධ අවශ්‍යතා සඳහා දකුණු ඉන්දීය ජනයා විශාල වශයෙන් අපේ රටට පැමිෙණන්නට ඇති බව අපට විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසාම සැලකිය යුතු ඉන්දු ආර්යය පිරිසක් අපේ රටට පැමිෙණන්නට ඇති බව විශ්වාසයකි. වංශකථාවලට අනුව මෙරටට පැමිණි විශාලතම ආර්යය ජන කණ්ඩායම දකුණු ඉන්දීය ප්‍රදේශවලින් පැමිණ තිබේ. එනම් මදුරාපුර කුමාරිකාවන් ඇතුළු කුළ  18 කට අයත් ශිල්පී පවුල් දහසකගේ පැමිණිමයි.

 

          මේ අන්දමින් පැමිණි ඉන්දු ආර්යය ජනයා විසින් දකුණු ඉන්දියාවේ මදුරාපුරයත් ලංකාවේ මහාතිත්ථ වරායත් සම්බන්ධ වූ මාර්ගය භාවිතා කර ඇති බව පැහැදිලිය.මේ අනුව ඔයාලට පේනවා ඇති නේද ඉන්දියවේ විවිධ ප්‍රදේශවලින් විවිධ කාලවකවානු වලදී විවිධ මාර්ග ඔස්සේ අපේ රටට සංක්‍රමණය වූ විවිධ ඉන්දු ආර්යය ජන කණ්ඩායම් අපේ රට ජනාවාසයක් බවට පත් කරගෙන ඇති ආකාරය.

 

          මම හිතනවා අද මගේ ලිපිය ඔයාලට ශ්‍රි ලාංකිකයන් විදිහට ගොඩක් වැදගත් කියලා. තවත් වැදගත් ලිපියකින් ඔයාලා හමුවෙනතුරු  ඔයාලට සුබ දවසක් කියලා පතනවා..............

නදීශා මැදවත්ත --

Comments

ගොඩක් හොඳයි නදී !!!!

godak hoda lipiyak nango...thawa liyanda a wagema sannasa godak hodai.wedagath lipi pala karanawa.

ස්තුතියි