හයිබ්‍රිඩ් උසාවිය

ජිනීවා යෝජනා පිළිබඳ උණුසුම දැන් කා අතරත් වර්ධනය වෙමින් පවතී.  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලය ඉදිරිපත් කළ වාර්තාව ඇසුරෙන් මෙම උණුසුම් කතාබහ ගොඩනැ‌ගී තිබේ.  පසුගිය යුධ සමයේදී  සිදු වූවායැයි පැවසෙන  යුධ අපරාධ ආශ්‍රීතව මෙම යෝජනා සකස් වී ඇත.  පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ දී මෙම යෝජනා   ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල මට්ටමෙන් ඉදිරිපත් වී තිබුණි. ජනාධිපතිවරයා “විදුලි පුටුවට” ගෙන යෑම පිළිබඳ මතවාදයක් හා නීතියක් රටේ ජනතාව තුළ ප්‍රබලව පැවතුණි.  ‌විශේෂයෙන්ම මැතිවරණ  සමයේදී  එය වඩාත් ප්‍රබලව ප්‍රචලිත විය.  එසේම රාජ්‍ය මාධ්‍ය හා රජයේ දේශපාලඥයින් විසින් එය පතුරුවා හරිනු ලැබීය. මෙම යෝජනාවලට එරෙහිව ඇමතිවරයකු විසින් හාස්‍යජනක උපවාසයක් ද පැවැත්වීය.

          ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි.  ඔවුන් විසින් පසු කාලීනව ඇති කරගත් සම්මුති  හා ගිවිසුම් රාශියක කොටස්කරුවෙකි.   කොටින්ම ශ්‍රී ලංකාව හුදෙකලා ජාතික රාජ්‍යක් නොව ජාත්‍යන්තර ප්‍රජාවේම කොටසකි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වෙනත් අන්තර් යෝජනාවලට ජාතික මූල්‍ය ආයතනවල ණය ගැත්තෙකි. ඉඳින් ජිනීවා යෝජනවලට පිටුපෑමට හෝ ඉන් හුදෙකලා වී සිටීමට කොහෙත්ම නොහැකිය.

          පසුගිය රජය මෙම යෝජනා සම්බන්ධයෙන් අනුගමනය  ‌කළේ ආරක්ෂාකාරී පියවරකි.  පන්දුවට පහර දීමෙන් වැළකී දිගින් දිගටම ආරක්ෂාකාරී පියවර ගන්නා පිතික‌රුවා, පන්දුව කඩුල්ලේ වැදීමෙන් හෝ පන්දුව  සුන් කිරීමේ වරදට හසුවී දැවී යෑමට තිබෙන අවස්ථා වැඩිය.  එලෙස ඇමරිකා එක්සත් ජනපදය හමුවේ පන්දු යවන්නන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමේ උත්සහයන් හී නිරත වී සිටියේ ය.  එබඳු  උත්සහයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඇතැම් පියවරයන් එම රජය විසින් ගනු ලැබීය. “දරුස්මාන් කොමිටිය” එබන්දකි. ලංකාවේ යුධ සමයේ ඇති වූ  සිද්ධි පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ වි‌ශේෂ කමිටුවක් දරුස්මාන් මහතාගේ මූලිකත්වයෙන් පත් කළේය.  නමුත් පසුව රජය එයින් ද ‍ඈත් වී මෙරට පැමිණ සාක්ෂි විමසීමේ අවස්ථාව වළකාලනු ලැබීය. මෙබඳු  ක්‍රියාමාර්ග නිසා ලංකාවට එරෙහිව වූ චෝදනා වල බරපතල ස්වභාවය වැඩි දියුණු කරනු ලැබීය.  මේ ආකාරයට කටයුතු දිගටම සිදු වූයේ නම් ලංකාවට එරෙහිව සම්භාධක පැනවීම, පාලකයන් හා හමුදා  ප්‍රධානීන් විදුලි පුටුවට ගෙන යාම වැනි ක්‍රියා මාර්ග වූවද ගත හැකි ව තිබුණි.  එබඳු දරුණු දණ්ඩනයන්ගෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය ‌කළේ එක්සත් ජාතීන්ගේ සංවිධාන  තුළ ඇමරිකාවට විරුද්ධ පිලේ බලවතුන් වෙත නැඹුරුවීමය.  ඒ අතරින් ශ්‍රී ලංකාව පැත්තේ සිටි බලවත්ම මිතුරා චීනයයි. රුසියාව හා රුසියානු හිතවාදී තවත් මිතුරන් ‘පලිහ’ කොට ගෙන සිටීමට උත්සහ කරනු ලැබීය.

          ශ්‍රී ලංකා-චීන  සබඳතාවය ඇමරිකාව මෙන්ම අසල්වැසි ඉන්දියාව ද නොරිස්සන ‍සුළුය.  ඇමරිකාව මෙන් ම චීනය ද අද ලෝක දේශපාලනය තුළ හැසිරෙන්නේ සුපිරි මහබලවතුන් ලෙස පමණක් ම  ‍නොවේ.  නව අධිරාජ්‍යවාදීන් ලෙසය.  එමෙන් ම නව යටත් විජිතවාදීන් ලෙසය.  ඇමරිකානු සිතැඟියාවන් අනුව බටහිර මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවට පිටුපාමින් සිටි අවස්ථාවක චීනය හා ඔවුන්ගේ මූල්‍ය සමාගම් අප වෙත යොමු වූවා සේම අප ඔවුන් වෙත ඇඳී ගියේ ය.

          HSBSවැනි බැංකු (චීනයට අයත්) අධ්ක පොලියට ණය දීමටත් සංවර්ධන ව්‍යාපෘති වල ඉඳිකිරීමටත් ඉදිරිපත් විය.  Fort Cityවැනි ගිවිසුම් වලට හසුකර ගැනීමෙන් මෙහි සදාකාලිකව ම පල පැඳියම් වීමේ ක්‍රියාවලියට අවතීර්ණ වී සිටියේ ය.

ලංකාවේ හදිසි මිතුරා

          අනපේක්ෂිත ලෙස මහින්ද රාජපක්ෂ රජය බිඳවැටීමෙන් පසුව බලයට පැමිණ සිටින රනිල් - මෛත්‍රී රජය හෙවත් “යහ පාලන” රජය, ගත වූ කෙටි කාලය තුළ දී ඉතා සීඝ්‍රයෙන් ජාත්‍යන්තරයේ “පිල් මා‌රුව” සිදු කරනු ලැබීය.  නව රජය ඉතා උණුසුම් ලෙස පිළිගත් ඉන්දියාව ලංකාවට සුබ පැතීමෙන් නොනැවතී අගමැති මෝධි ලංකාවට පැමිණ සුහදතාවය වර්ධනය කර  ගනු ලැබීය.  ජිනීවා සමු‌ළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතු‌ළු පිරිස ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබූවේ කාලයකට පසුව හමු වූ කල්‍යාණ මිත්‍රයකුට දක්වන සැලකිලිය.

          චීන  - ලංකා සබඳතා පිළිබඳව එදා පිරිස උදම් ඇනුවා සේම ඇමරිකා - ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව අද පිරිසක් උදම් අනමින් සිටී.

          මෙදා පාර ජිනීවා යෝජනාව ද සැර බාල වී ඇති බවත් ලංකාවට හිතකර ආකාරයට එය සකස් කර ගත හැකි වූ බවත් පවසන මෙම ආණ්ඩුවට අයත් දේශපාලඥයන් විසින් “අධිරාජ්‍යවාදී උගුලෙන් රට බේරා ගත් ජනපතිතුමන්ට” උපහාර දක්වන පෝස්ටර් හා කටවුට් ද මහමඟ සවිකර තිබේ.

          ඇත්තවශයෙන්ම මෙම මත දෙකම නිවැරදි ‌නොවේ.  එක්  බූවල්ලෙකුගේගේ ග්‍රහණයෙන් නිදහස් වීමට තවත් බූවල්ලෙකුගේ තු‌රුලට යෑමකි. ජාත්‍යන්තර කටයුතු වලදී ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් ලෙස පෙනී සිටීමට නොහැකි වී ඇති බව ඉතා පැහැදිළිය.  අන්තර් ජාතික වශයෙන් අප දුබල ජාතියක් වී ඇති බව පැහැදිළිවම දක්නට ලැබේ. කිසියම් රටකට ජාත්‍යන්තර තලයේ ස්වාධීනත්වය අත්පත් කර ගත හැකි වන්නේ ඔවුන්ගේ “ජාතික බලය” හී ස්වභාවය මතය.  එය ගොඩනඟා ගත හැකි වන්නේ ආර්ථික ස්වයංපෝෂිත භාවයත්, ශක්තිමත් යුධ බලයක් ඇති කර ගැනීමෙනුත් ය.  ජාතික ආදායම සම්පූර්ණයෙන්ම පියවෙනේ විදේශ ණය වලින් නම්  ඒ රටට ඇත්තේ කවර ජාතික බලයක්ද ?

සතුරාගේ සතුරා මිතුරාය

          ‍මෙතෙක්  කල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලyaශ්‍රී ලංකාවට යෝජනා කර සිටියේ “ජාත්‍යන්තර පරීක්ෂණයක් ය”.  මෙවර එය දේශීය පරීක්ෂණයක් දක්වා වෙනස් කරවාගත හැකි වීම එක්තරා ආකාරයක ජයග්‍රහනයක් ලෙස සැලකීමට හැකිය.  කවුන්සිලයේ මූලික යෝජනාවන්  වී තිබෙන්නේ,

  •  යුධ සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම හා අපරාධ පිළිබඳව    පරීක්ෂා කිරීම.
  • ජාත්‍යන්තර විනිසු‌‌රුවන්ගේ සහභාගීත්වය ඇති මිශ්‍ර අධිකරණයක්  පිහිටු වීම. (Hybrid  Court)
  • සත්‍ය ගවේෂණය කිරීමේ කොමිසමක් පිහිටු වීම. යනාදිය යි.

ශ්‍රී ලංකා පාර්ලිමේතුවේ මහින්ද රාජපක්ෂ හිතවාදී විපක්ෂ මන්ත්‍රීව‍රුන් කිහිපදෙනා විසින් අල්ලාගෙන තිබෙන්නේ මෙම මිශ්‍ර අධිකරණය හෙවත් Hybridඋසාවි සංකල්පයයි.  කෙසේ වෙතත් මෙම උසාවිය පිහිටු වීමේදී ජාත්‍යන්තර විනිසුරුවන්  යොදාගන්නේ ද, නොගන්නේ ද යන්න තීරණය කිරීම සඳහා කේවල් කිරීමේ අයිතිය ලංකාවේ රජය සතුව තිබේ. එබැවින් ප්‍රශ්නය වී තිබෙන්නේ යෝජනා වල සැර අඩු වීද, වැඩිවී ද යන්න නොවේ. කුමන ආකාරයකින් හෝ පරීක්ෂණ පැවැත්විය යුතුය යන්න ය. දැන් එය අනිවාර්යය සාධකයක් වී තිබේ.

          ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ සෑම ආණ්ඩුවක්ම දේශපාලන කුණාටුවලට හසු වීම ඉතිහාසය පුරාවට සිදු වූවෙකි.  භාෂා ප්‍රශ්නයට අත ගැසූ  එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක  රජය දේශපාලන කුණාටුවකට නොව සුනාමියකට හසු විය. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් වීම දක්වා ප්‍රශ්නය දුරදිග ගියේය. සුනාමි සහන මණ්ඩලය දක්වා විසඳුමකට ගිය චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යළිත් දේශපාලන කුණාටුවකට ලක් වීය. දැන් මෛත්‍රී - රනිල් රජය ඉදිරියේ ඇත්තේ එම අභියෝගයයි.  යුද්ධයෙන් පසුව යම් ප්‍රමාණයකට හෝ රට තුළ ඇති වූ සාමය ස්ථිර සාමයක් බවට පත් කර ගැනීමට නම්, රජය මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතු වේ. 

          ප්‍රශ්නය විසඳාගැනීම සම්බන්ධයෙන් සාධනීය සාධක කීපයක් ම නිර්මාණය වී තිබේ. මේ රටේ ඡන්දදායකයන් බුද්ධිමත් නැතැයි පවසන සිය‌ළුම දෙනාට පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පාඩමක් උගන්වා තිබේ. උතුරේ මෙන්ම දකු‌‌ණේ ද ඡන්දදායකයන් සිය බුද්ධිමත් ප්‍රකාශනය ලබා දී ඇත. උතුරේ මෙන්ම දකුණේ අන්තවාදීන් පසුබස්වා තිබීම ඉතා බුද්ධිමත් තීන්දුවකි.  උතුරේ ඡන්ද චර්යයාව විමර්ශනය කිරීමේ දී පැහැදිලිව පෙනී යන සාධකය නම්, එල්. ටී. ටී. ඊ  හිතවාදීන් මෙහිදී පරාජයට පත් කර ඇති බවය. සම්මුතියකට පැමිණීමට හැකි නියෝජිතයන් පිරිසක් පත් කර තිබේ.

                   දකු‌‌ණේ ඡන්දදායකයන්ගේ විශිෂ්ඨත්වය වන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ ‌දෙකෙන් කිසිවෙකුටත් පැහැදිළි බහුතරයක් Absolute   Majority ලබාදී නොමැත. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයට සාපේක්ෂ බහුතරයක් ලබා දී තිබේ. මෙම හේතුව නිසා එක්සත් ජාතික පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවා ගෙන  ආධිපත්‍ය සහගතව ආණ්ඩු කිරීමේ අවස්ථාව අහිමි කර ඇත.  එහි ප්‍රථිඵලය වූයේ “ජාතික ආණ්ඩුවක්” නමින් හැඳින් වූ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමය.  “ජාතික ආණ්ඩුව” යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක හා වෙනත් පක්ෂ සමඟ පිහිටු වන ආණ්ඩුවක් ලෙසය.  මෙය ව්‍යවස්ථානුකූල අර්ථයෙන් නිවැරදි වූව ද ව්‍යවහාර අර්ථයෙන් පිළිගත හැකි සංකල්පයක්  ‍නොවේ.  ආණ්ඩුක්‍රම ඉතිහාසයේ “ජාතික ආණ්ඩු” සංකල්පය හැඳින්වෙන්නේ ප්‍රධාන පක්ෂ හා අනිකුත් ‍සියළුම පක්ෂ එක් වී පිහිටුවන ආණ්ඩුවක් ලෙසය.  වී. අයි. ලෙනින් විසින් “ජාතික ආණ්ඩු” සංකල්පය හඳුන්වනු ලැබුවේ “ධනපති ක්‍රමයේ අවසාන තු‌රුම්පුව” ලෙසය. ලෙනින් එලෙස ප්‍රකාශ ක‍ළේ ප්‍රධාන විරුද්ධ පක්ෂ එකට එක් වී ආණ්ඩු කිරීමෙන් “ධනේෂ්වර ප්‍රජාතන්ත්‍ර වාදයේ” මායාව හෙළි දරව් වන නිසාය. එවිට පක්ෂ අරගලය බැහැර වී පංති අරගලය ඉදිරියට පැමි‌ණෙන නිසා ය. නමුත් ලංකාවේ ධනේශ්වරයට මෙම පියවර තැබීමට හැකි වූයේ මෙරටෙහි “පංති අරගලය” අවසාන වී පවතින තත්ත්වයක් තුළදීය. සාම්ප්‍රධායික කම්කරු පංති පක්ෂ බිඳවැටීම තුළ, වාමාංශික පක්ෂයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ වඩ වඩාත් පාර්ලිමේන්තුවාදී පක්ෂයක් බවට පත් වී සිටින තත්ත්වයක් තුළ පංති අරගලය මතු නොවන්නේය යන සහතිකය ධනේශ්වර පංතියට ලැබී ඇත.

          ශ්‍රී.ල.නි.ප - එ.ජා.ප  හවුල් රජයට දැන් ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථිරසාර විසඳුමක් ගෙන ඒ‌ෙම් හැකියාව පවතී. මන්ද ඉතිහාසය පුරාවට ම සිදු වූ එකිනෙකාට එරෙහිවීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබෙන නිසාය.  බණ්ඩාරනායක රජය විසින් “රටසභා” යෝජනාව ගෙන ආවිට එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිවී පාරට පැන්නේ ය.  ඉන්පසුව ඩඩ්ලි සේනානායක රජය එයට “දිස්ත්‍රික් සභා” ලෙස ගෙන ආ‌ විට කලින් ඊට පක්ෂ වූ ශ්‍රී.ල.නි.පක්ෂය ඊට එරෙහිව වීදි බැස්සේ ය.  දැන් මේ පක්ෂ දෙකම එකම ආණ්ඩුවක් බවට පත් වූ විට විසඳුමක් ගෙන ඒම අපහසු නැත.

දෛ‌වයේ සරදම්

          විසඳුමක් ගෙන ඒම යන්න බරපතල සාධකයක් ලෙස නොපවතී.  බරපතල යුගය දැන් පසුකර ඇත. “පළාත් සභා” විසඳුම දැනටමත් ක්‍රියාත්මකව පවතී. එල්.ටී.ටී.ඊ ය පරාජය වී සිටී. එබැවින් සත්‍ය වශයෙන්ම අත්‍යවශ්‍ය විසඳුම වන්නේ උතුරේ ද්‍රවිඩ ජනයාට දකුණේ  සිංහල ජනයා සමඟ සාමයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට තහවුරු  කිරීමය. ඒ සඳහා ගත හැකි ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් තිබේ.

          ඉන් පළමුවැන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා පනතේ ඇතුළත් ‌සියළුම බලතල පළාත් සභාවලට හිමිකර දීමය. මෙතෙක් බලයේ සිටි සෑම රජයක් ම පළාත් සභා සතු සිය‍ළු බලතල ඔවුන්ට ස්වාධීනව භුක්තිවිදීමේ අවස්ථාව අවහිර කරනු ලැබීය. පළාත් සභා ශක්තිමත්ව සක්‍රීය වන විට ඊට සාපේක්ෂව මධ්‍යම රජයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව  ඉතා කුඩා සංඛ්‍යාවක් දක්වා අඩුවිය යුතුය. එවිට අනවශ්‍ය ධන නාස්තිය වළක්වාගත හැකි ‌වෙනු ඇත.

          දෙවැන්න නම් ජිනීවා යෝජනා පිළිබඳ සැලකිලිමත් වීමය. උතුරු - දකුණු මිනිසුන්ගේ බිඳවැටුණු හදවත් සුවපත් කර සමීප ලෙන්ගතුභාවය ඇතිකර ගැනීමය. ඒ සඳහා යුද්ධයට මුවා වී සිදු කරන ලද අකටයුතු අනාවරණය කර ගැනීමත් වැරදිකරුවන්ට දඩුවම් හිමිකරදීමත් කළ යුතුව ඇත. යුද්ධය නිසා අවතැන්වූවන්ට යළි සිය මව්බිමේ ජීවත්වීමට ඇති හැකියාව තහවුරු කර දිය යුතුය. ඉඩම් අහිමි වූවන්ට ඉඩම් ද, නිවෙස් අහිමි වූවන්ට නිවෙස් ද, රැකියා අහිමි වූවන්ට රැකියාද, විශ්වාසය අහිමි වූවන්ට විශ්වාසය ද  ලබා දිය යුතුම වේ.

          උතුර - දකුණ අතර සාමයේ පාලම තැනීමේ දී තවත් වැදගත් සාධකයක් ලෙස ද්‍රවිඩ ජාතික  සන්ධානයේ භූමිකාව සැලකිල්ලට ගත හැකිය. ආර්. සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධුරය ලබා දී සාමය සඳහා ගත් ඉතා වැදගත් පියවරකි. ද්‍රව්ඩ දේශපාලඥයන් අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එක්වීමත් එහි සක්‍රීය කොටස්කරුවන් බවට පත් වී සිටීම සාම ක්‍රියාදාමයට වැදගත් සාධකයක් වනු ඇත.

          මෙබඳු  ක්‍රියාමාර්ගයකට සිංහල අන්තර්වාදී කොටස් විරුද්ධ  වෙනු ඇත. එය අපේක්ෂා කළ යුතුම තත්ත්වයකි. එම අභියෝගයට මුහුණදීමට  ආණ්ඩුව ‌කොතෙක්දුරට සූදානම්ද යන්න විමසා බැලිය යුතුය. ජිනීවා  යෝජනා සම්බන්ධයෙන් සර්වපාක්ෂික ‌සමුළුවක් කැඳවීමේ අදහස ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වී තිබීම විසින් කුකුසක් ඇති කරයි. ඉතිහාසයේ සර්වපාක්ෂික ‌සමුළු කැඳවා ඇත්තේ ප්‍රශ්නය වෙන අයගේ හිසමත දමා අත පිසදා ගැනීම සඳහාය. ආණ්ඩුව එබඳු පියවරක් අනුගමනය කරන්නේ ද යන්න විමසීමට තරම් අප තවමත් ඉක්මන් වැඩිය.

Man unknown -- 

Comments

Lankawata jathyantara madihatweem walata yatath novi pitupa sitiya nohakida ??

Ada pawatinne Jathyanthara kramayak. Hama Rajyayakma Jathyanthara nithi, givisum , ekagatha walin bandi sitinawa. A nisa Hudekala wimata nohaki. Anik athata api pitupawoth Jathyanthara sambadhaka panawenawa. Iraq,North Korea, Iran, Cuba walata wage. Ekata face karanna plwan wenne apita swadina shaktimath Economy ekak tbboth witarai.Apita eka nathi bawa pahadili. A nsa Jathyanthara prashna waladi Rajya tanthrika washayen apita wadath wasidayaka ha hithakara thathwekata ape widesha pratipattiya awashyai.

Thanks..